Wednesday, July 13, 2011

හිච්චි කොල්ලගේ ක්‍රිකට් හැකියාව


"පළවෙනි පෝස්ට් එක හින්දා ටිකක් හොද වෙන්නත් ඕන, පෝය දවස හින්දා යහපත් වෙන්නත් ඕන. පොඩි ප්‍රශ්නෙකට කියල තියෙන්නෙ යහපත් දෙයක් ගැන පෝස්ට් කරන්න හරි මම කවදද යහපත්, හොද දෙයක් කරේ කියන එක. කොහොම උනත් ඉතින් ඉදලහිටලා කරන පොඩි කුස්ප වැඩක් ඇරෙන්නට කියන්න තරම් වරදකුත් නෑ,හොදක්නම් කොහොමත් නෑ." හ්ම්ම්ම්......ඔන්න ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මම පාසලේදී ක්‍රිකට් ගහනකොට පෙන්නන දක්ෂතා ගැන පොඩි පෝස්ට් එකක් දාන්න හිතුනෙ. මොකද මේ පෝස්ට් එක ජාතික කණ්ඩායමේ කවුරුහරි කියෙව්වොත් මම අනිවා ජාතික පිලට තෝර ගනීවි. (වතුර අදින්නත් කවුරුහරි ඉන්න එපායැ ;)

කස්ටියට මතකද දන්නෙ නෑ මම මේ බ්ලොග් එක පටන් ගත්තු දවසෙම දාපු පෝසට් එකේ මගේ ක්‍රිකට් හැකියාව ගැන ලිව්වා. ඒත් ඒක ඒච්චර ලොකු විස්තරයක් නෙමෙයි. එක අතකට මේක තමන්ම සල්ලි දීල ලොකු බාස්කට් එකක් අරගෙන හොද ලොකු මඩවලක් ලගට ගිහින් තමන්ම මඩ නානව වගේ වැඩක්. කොහොම උනත් කමක් නෑ ඕන මගුලක් වෙන්න කියල මම ඔන්න ඔහේ ලියල දානව. ඉස්සෙල්ලම කියන්න ඕන මම 7 වසරෙන් පස්සෙම ක්‍රිකට් ගැහුවෙ 10 වසරෙදි. 7 වසරෙ ඉන්න දවස්වල නම් සුපිරියටම මගේ ක්‍රිකට් හැකියාව තිබුනා. ඒ දවස්වල ඕවර් 5හේ මැච් එකේ ඕවර් 2ක් හරි 3ක් හරි දාන්නෙ අනිවා මම. ඒ මදිවට බැටින් වලදි ඕපනින් හරි වන්ඩවුන් හරි යන්නෙත් මම. කොහොම උනත් ඒ 7 වසරෙදිනේ. ඊට පස්සෙ මට අවුරුදු 3ක් ක්‍රිකට් සෙල්ලම් කරන්න වුනේ නැහැ. ඒත් 10 වසරෙදි පන්ති කඩලා (කඩල කිව්වෙ විසුරුවල) අපිව වෙනත් යාළුවොත් එක්ක අලුත් පන්කියකට දැම්මා. අෆ්ෆා...අලුත් පන්තියෙ උන් ගැනනම් කියල වැඩක් නෑ. උන් ක්‍රීඩාවෙන් උන්මන්තක භාවයට පත් වෙච්ච උන්. ක්‍රිකට් මැච්, ෆුට්බෝල් මැච් ටෙලිවිසොන් එකේ පෙන්නන්න බෑ.

එහෙම පෙන්නපු දවසට ඊළග දවසෙ කස්ටියම ඉස්කොලෙ එන්නෙ කලින් දවසෙ මැච් එක ගැන කියන්න දත මැදගෙන. ඉතින් එහෙම පිස්සො ඉන්න පන්තියකට වැටුනට පස්සෙ අයිත් ක්‍රිකට් ගහන්න වුනා කියන එක පුදුමයක්ද? මුන්ට ක්‍රිකට් ගහන්න තියෙන ආසාව කොච්චරද කිව්වොත් එක පීරියඩ් එකක් ඉවර වෙලා අ‍නිත් පීරියඩ් එකට ටීචර් පන්තියට එන්න යන වෙලාවෙත් මුන්ගෙ වැඩේ පොලු කෑල්ලකුයි, බෝලෙකුයි අරගෙන පිට්ටෙන්නට බහින එක. එක ඕවර් එකක් හරි සෙල්ලං කරල තමයි ඊලග පීරියඩ් එකට පන්තියට යන්නෙ. (එතකොට පීරියඩ් එකේ ටිකකුත් කට් වෙනවනේ. ඒක නිසා ක්‍රිකට් නොගැහුවත් මමත් යනවා. ;) කොහොමෙන් කොහොම හරි මෙහෙම ටික දවසක් යනකොට මේ සෙට් එකත් එකක් හොදටම සෙට් වෙන්න මට පුළුවන් වුනා. ඊට පස්සෙ ඉතින් හැමදාම ක්‍රිකට් තමා. පළවෙනි මැච් එක ගැන කිව්වොත් මම සාර්ථක ලෙස මට ලැබුනු කැච් 5න් 5ම ඇතෑරිය වගේම, බෝල 5කට සෙල්ලම් කරලා ලකුණු නොලබාම සාර්ථක ලෙස දැවී ගියා. ඒකනම් මට මතක් වෙනකොටත් ආසයි. ඒ හූව කොච්චර ප්‍රශන්සනීයද? කැච් එක මිස්වෙනකොටම පිට්ටෙනියෙ කොනක ඉදන් එන හූව එකපාරටම මුලු පිට්ටෙනිය පුරාම පැතිර යනවා. ෂා.....මාරයි. ප්‍රශංසනීයයි. උත්කෘෂ්ටයි. (මට නෙමේ උන්ට) ඒ වෙලාවට කලිසම ගලවලා පිට්ටෙනිය වටේ දුවන්න මට හිතුනු වාර අනන්තයි. මොකද ඒක ඊට වඩා නම්බුකරයි.

කොහොමෙන් කොහොම හරි ඔ‍හොම කාලය ගත වෙලා ගියා. දැන් ඉතින් අවුරුද්දකුත් ගෙවිල. මේ වෙනකොට නම් ගොඩක් කැච් එහෙම මට අල්ලගන්න පුළුවන්. ඒ වගේම දැන්නම් බැට් කරන්නත් ටිකක් ටිකක් පුළුවන්. දැන් ඉතින් බෝලින් පැත්ත. ඊයෙ දාපු ඕවරේටනම් විකට් දෙකකුත් ගත්ත. ඒත් මම මේ අවුරුද්දෙ දාපු පළවෙනි ඕවරේ...ඒක වාර්ථාවකුත් තිබ්බා. හයේ ඒව 2යි, හතරේ ඒව 2යි, එක්ක ඕවරේට වැඩිය නෑ 28ක් විතර වැදුනා. කොහොම උනත් මටනම් පේන්නෙ දැන් ටික ටික මගේ ක්‍රිකට් හැකියාව ආපහු තිබුනු තත්වෙටම එනව වගේ. එහෙම වුනොත් නම් නියමයි ! දැනට මේ ඇති. එහෙනම් මම ගියා...

2 comments:

  1. අපිත් ඉස්සර ඉස්කෝලේ යන දවස්වල විවේක කාලයක් ලැබුනම ඩෙස්ක් කෑල්ලකුයි බෝලයකුයි අරන් ගිහින් ක්‍රිකට් ගහනවා. එහෙම කරලා ගුටිත් කනවා. :)

    P.S- වෙරිෆිකේශන් අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න ගොඩක්ම ලේසියි.

    to remove word verification,

    Dashboard > Setting > comments

    word verification

    No

    ReplyDelete
  2. තැන්කියු කිව්ව දුන්නු උපදෙස් වලට. තාම ඉතින් බ්ලොග් කෙරුවාවට අලුත් නේ. ඒකනිසා ඔය දෙන උපදෙස් ගොඩක් වටිනවා. ආපහු පාරක් තැන්කියු...ගුටිකෑම ගැන කියනවනම් ඉතින් මීට සතියකට විතර උඩදිත් කෑවා.... :)

    ReplyDelete